About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Friday, July 20, 2018

# 21 : සිංහල දෙමළ නොවුණු ගැහැණු කමේ කථාව














සති අන්තේ හෙට හින්ද - තලෙයි  මන්නාරම් යන්ට
දඬු මොණර නැති උඹට - පියාපත් නොමැති විට
තුන්වන පන්තියේ විඩාබර මැදිරි අග
එක අසුන යට කරන්  විසිපහක් සිටින රඟ

සිංහල කියපු ලේ - දොරගාව එකපාර
සිඳ ලන්න තතනද්දී - විලි බියත් එක පැහැර
සිංහල වෙච්ච මට  - සෙනෙහසින් මඟ   පෑව
රතු තිලක ඇන්ද නුඹ- අද මගේ සොයුරිය

දහඩිය පිරුණු වත - උණුසුමට හැඩ  කළ
නාස් අග කඩුක්කම - බත් කටට හිලවු කළ
තිදරුවන්  ඇකයේ ගෙන - පියෝවුරක තැවුල් හළ
නුඹේ ඇස් කෙවෙනි අග - හිනැහුණා මිනිස් කම

(සිංහල අකුරු ඇහින්දේ - දෙමළ කතාවක් කියන්න. අකුරු වලට නොතේරුණු  - ලෙයින් එකට බැඳුණු නිර්ධන පන්තියේ - උඹෙයි  මගෙයි කථාව . සිංහල දෙමළ නොවුණු ගැහැණු කමේ කථාව. ස්තූතියි සහෝදරී )

Saturday, July 14, 2018

#20: කවි හිතක්

 ලිහිණු ගෙත්තම් අරන්
 කවි හිතක අරුමය සොයන්
නුඹ ආව ඉසිඹුව ඉතින්
 නිසල විල මැකුණා සැනින්

සිහින වික්කල් හදින්
 අවසාන සිතුවම ලෙසින්
මා අසල නොයිදින් ඉතින්
 සිත්තරුද සිහිනෙක නිදන්

කළු පාට දේදුනු අරන්
ඉඩෝරෙට යාදිනි කියන්
මහා වැස්ස දියවර අරන්
එනදාට වෙනතක් බලන්

රුදුරු නෑ කවුරුත් හදින්
 සොඳුරු නෑ කාලය නිතින්
කිඳුරු කවි කිව්වත් පෙමින්
සියොතුන්ට කුමකට වරල් ?

Sunday, May 27, 2018

# 19: මුත්‍රා මත ගැවසෙති බඹරුන්













රත් පැහැ පියුම් මත
මකරන්දයේ ගිලෙන
බිඟු තුඩක තැවරුණේ
ප්‍රේමයක්  පමණක්ද?

සිංහ ගිර පාමුළ
නොසැඟවුණු  මුත්‍ර මත
ගැවසෙනා බඹරුන්ට
ආදරේ  අපුලක්ද ?

විපිළිසර හදවතක
හඬන නොහඬන තතට
දෙබර කූඩෙට ගසන
එක ගලත් කජ්ජක්ද ?

Tuesday, May 1, 2018

# 18: අළු පැහැති මම

මම සුදු යැයි  කියන
ඔබ කළු යැයි හඟින
කාලයේ සරන්නෙමි.....
මම මා නොවන සඳ
ඔබ ඔබ නොවන සඳ;
කළු සුදු අප දෙදෙන
තුලාවක නැම්ම මත
රැඟුව බව මොහොතකට
වික්ෂිප්ත මනස තුළ
හඟිමි මම ක්ෂණයක ...
චපල නීතිය අසළ
අපේ කළු සුදු පැහැය
සිල්ලරට විකිණු සඳ
දන ගතිමි සත්තකට
අළු පැහැති බැව් මහද .


Tuesday, April 17, 2018

# 17: සැපින්නගේ මිරි වැඩි

සඳුට වෙර කළ සැපින්නක ගැන - නයි කදුළු නැත යා උනේ
කිඳුරු පෙම ගැන සදෙව් ලොව  දුර - සොඳුරු පද වැල් ලිය වුනේ
අඳුරු අරණක සඳ සුයාමෙක - දඟර ගැහිලා සෙල උනේ
කින්නරාවක් නොව අදෝමැයි  - බස්සෙකුය ස්ථිර කළේ ...

සළෙලු කවියක  උමතු තනු  තුළ    - රඟපු  ළඳකගේ නෙරිපොටේ
හඳ එළිය මැද මිදුව වර පට - පෙමට උපමා නොම කළේ ..
පෙගුනු කෙහෙරැළි  ලයට බර උනි - දෙවිඳු හැර ගිය කෝවිලේ
අමතකව ගිය මිරිවැඩිය  ගැන - අරුම දෙස් තව බෝ කළේ ...

රනින් කළ මිරි වැඩිය හිස මත -දිදුළ මැණිකක පපු තුරේ
කළුම කළු නයි හැවක් එතුනලු - නුගේ පාමුල ගල් වලේ
නෙක යවුල් මැද පා තැබුව සඳ  - පා සලබ හැර ඝන  දුරේ
සැපින්නට මිරි වැඩි කුමට හෙට - අසනු කුමකට නුඹ සඳේ .... 


Saturday, April 7, 2018

# 16: අමන වියමන

මතක අමතක අමන ගැහැණිය
වියන සළුපට හුරු අතින්
ඇරඹුමක් නැති අරමුණක් නැති
හුයක් පටලයි නිය අගින්
දිදාලය අග බොඳවූ රතු කැට
ගැලුවේ නැති බව හදවතින්
ශිරාවක් ධමනියට කිව්වා
උන්ට මොකටද එය ඉතින්


Saturday, March 10, 2018

# 15: පොඩි මැණිකේ , නජ්ලා සහ බූරුවෝ

ඉල් මහේ වැහි නොදුටු - අහසට දෙස් තියා
පොඩි මැණිකේ නිවුණු ළිප - හිතේ ගිනි එක් කළා
හෙට්ටිගේ ණය  පොතේ - ඉලක්කම් දිගුවු දා
කිරි මවගේ ගෙජ්ජි වැල - වත්තේ කොන වැලලුනා ....

සහරාවේ කුණාටුව - ඔලිව් ගස් හිස් කළා
හිස් තැටිය රොටි නැතුව - නජ්ලා  විසි කළා
දෙවියන්ගේ අඩවියේ - දොර උන්ට වැසුණ දා
පවුලේ බර වැඩි බව -බූරුවට සිහි උණා  ......

ගිනි වැදුන දිවි මගේ  - දුක් සුසුම් පිරිවරා
සින්ථතික්  බූරුවෝ  -සැමට ඔච්චම් කළා
ආගමයි, ජාතියයි - නොයෙක් අවි අත දරා
පණ  අදින මිනිස්කම - කග පතින් සුන් කළා ...


Friday, February 23, 2018

# 14 : අරුම පුදුම හැන්දෑව


නුඹ  මට කියල තිබ්බෙ
ඉර හවසට මූදෙ ගිලෙනවා කියලා
එත් මම පුදුම උනා
ගිනි මලක් තුරු වියන මැද්දෙන්
රූරා වැටෙන කොට ...
දිය රැළි ඔහේ ගෝෂා කළා
මුදට ඉර අහිමි කළා කියලා .....
එත් ඒ අපුර්වත්වය වින්දෙම  තුන්වෙනි ඇස,
මගේ හිතනම් හරි විපිළිසරයි
උඹ  මට බොරු කිව්වා වත්ද ????

Sunday, February 18, 2018

# 13: සිනාසෙන තිසර පට


හත් දින පේ වුන -කිලි ගෙයි පෑදුණ
කොටහලුවක නැකතක් මානේ
පිපුණු කැකුළු මත - බෝදුර  යන්නට
සිතුවලු කුමාරිගේ සළු පානේ .................

පෙර එක දවසක - හිරු බිඳී සවසක
අහසම බීරුම් කරපු වෙලේ
මිදුව තිසර පට - මහවෙලි ගං තෙර
උණ ගාලේ සෙනෙහසින් රැඳී ..................

 හසකැන් තුඩු මත - බබරිදු විස කළ
අතැගිලි එක්කොට බැන්ද දිනේ
රන් තැලි එක්කළ - උදම්  හසුන් මත
තිසර පොටේ මල්කම් බෝවේ .................

නෑ සිය පුර මැද  -  නෙරි පොට බිදුමට
උදක් දුන්නු අයිතිය හමුවේ
බිමට විසික් කල -තිසර පොටේ අග
පැටලුණි බුමුතුරුණක රහසේ ..................

කිරි පිරිලැම  මත - කදුළැලි  මුසු කොට
සුසුම් හෙලූ වසරක් ගානේ
හිමි සඳු කොහේදැයි - විපරම් කළ ඇගේ
සුරතෙහි පැටලුණි රෑ යාමේ ......................

නිවසට බෝ දුර -වියන් යහන මැද
ඇගේ හද යළි රස සෙව්ව දිනේ
බිමට විසිව ගිය - එරන් තිසර පොට
ගිරි හිස දැක යළි සිනහ සුනේ .................


Thursday, February 8, 2018

# 12: සොඳුරිය මේඝයකි - සළලෙකු නැත දත්තේ


තෙද බල කුටිය - කහවණු  පැහැයෙන් හැඩය
කළුවන් කබා මැද බේරෙන - බඩ  ගෙඩිය ..
සාරසුභාවට කැන හිළු   - නිදි බරය
නීතියේ ලඳත් විනිසුරු ළග - අවසඟය

ලේ පුසුබකට ඇදෙනා - දඩයම් කලය 
සුදු සළුවකට වැසුනත් රුව - පැහැසරය
අබමිට අතින් ගත්  ගැහැණිය - වනචරය
නිදි ගැට කැඩුව  උන් හැම හූ - හඬ පෑය

බඳවා රනින් යදමක් - නැකතක් මැද්දේ
ජය මංගල ගයා - අවමගුළකි ගත්තේ
සොඳුරිය මේඝයකි - සළලෙකු නැත දත්තේ
අඳ  නීතියට ඇය අද - අවසඟ නැත්තේ

විසිරුණු කිරට නැත ඇය - විනිසුරු යැද්දේ
පින්මද පුතුන් දැක මදහස - මුව ඇන්දේ
යදමින් බැදුන පා යුග - මිණි  ගෙඩි  සද්දේ
ඇහැරුණු උන්ට නැත අවසර - ඉන පල්ලේ



Wednesday, January 31, 2018

# 11: ව්‍යාකුල මී හරකාගේ කථාවස්තුව


සැදැවේ මඩ වලක් දුටුවෙමි - ගස් ගොමුවෙ මනරම් 
රැළි නගා මට ඉඟි කළා දිය - ගිලීලා බලපන් 
එත් ඈතින් වල අයිති මහ - නැඩා දුටුවෙමි මං 
මග හැරලා වල ඉවත ඇදුනෙමි -ඌට සුබ පතමින් 

තවත් දවසක දවල් වරුවක - හිටිය මම තනියෙන් 
කළුම කළු මඩ  පිරුණු දියවල - ඉස්ස මඩ රහසින් 
මගේ සිතුවිළි ඇවිස්සූ වල- කිව්වා මට මෙලෙසින් 
දුරින් හිටපන්, හිදිමුකෝ අප - සකි සඳුන් විලසින් 

වියළි වන ගැබ සිසිල සොයමින්- සැරුවා මන් රහසින් 
නෙළුම් පිරි විල හිනැහුනා මට - මාව මත් කරමින් 
මඩේ සැප  මිස නෙළුම කුමකට - සිහිවුණා විගසින් 
මඩ නොකර විල පිට උනා මම - මගේ හිස ගසමින් 

මඩේ වැතිරී නගුට වනමින් - කෙළිති සමහර උන් 
එක වලක නොව- දෙක තුනක සැප - සොයති මී හරකුන් 
වලක් නැති යයි තප්පුලති තව - බානේ බැඳී හරකුන් 
විපිළිසර වෙමි සඳට දෙස් දෙමි - තෙමෙන නොතෙමෙන මන් .........

Saturday, January 27, 2018

# 10: කියා ලෝකය මරා දැම්මා මියෙන නොමියෙන මං

දිනෙක ගණදුරු රැයක් විය සඳ, කුමරි නෑ රැගුමන්
අමාවක බව සිහිකලා සිත ශීත පවනල්ලෙන්
අහස් ගැබ කොන දිලුනු තරු මල ඉඟි කළා  හොරැහින්
සඳු නොමැති යම , සිටින බව පැවසුවා රහසින්

හිරු  නැගෙන යම තබර විල පිපි රනින් කළ පියුමන්
විහඟ ගී මැද බිඟුට පෙම් බැඳ නගති හද කැලුමන්
රැයේ පිබිදුණ  කුමුදු මලකගේ  හිරු දකින පෙරුමන්
බිඳී හැඬුවා ඉකිගසා ඇය අතැර හද පැතුමන්

සෙනෙහෙබර හිමි හුයෙන් බැඳී සොඳුරුතම බිරියන්
මධුර සිහිනෙක සිතුම්  පැහැසර නගයි හසරැල්ලෙන්
කෝල  නෙතු අඩවන් කළේ  මා නුරා  පිරි සිතකින්

කියා  ලෝකය මරා  දැම්මා මියෙන  නොමියෙන මං

Tuesday, January 23, 2018

# 09: දැනීම, දැකීම සහ හැඟීම

කසාවත සුදුවත - කමටහන් දුටු කළ
මම නොපවතින බැව් දනිමි
දුකක් නැති විරාගී .....
මොහොත ක්ෂණයක දකිමි
නමුදු තව නිමේශෙක
පාට පිරි සිතුවමක
අරුම දැක සසල වෙමි
සුදුවත මුදාලමි ……..
ජිවිතේ දැහැන් ගත
සදාතන විරාමෙක

මම සිටින බව හඟිමි


Sunday, January 21, 2018

#08: කුමට අප වැළපෙමුද


ජීවිතය විදින්නෙමි
සිතූ කළ මමත් ......
සෙනෙහස ඇගේ යැයි
සිතුවා ඇයත් ........
පෙම්වතිය මා නොවෙද
අසයි තව ළදක් .......
කුමට අප වැළපෙමුද
ඔහු විහිළුවක් .....

Friday, January 19, 2018


#07: ගෙම්බියකගේ  සිතුවිළි

"මේ ඔබේ දරුවන්. කොහෙත්ම නැහැ . ඔවුන් ඔබේ නොවේ. ඔවුන් බිහි උණේ ඔබෙන් නොවේ, ඔබ තුළින්. ඔවුන් ඔබ සමග සිටියත් ඔවුන් ඔබට අයිති නැහැ.. ඔවුන්ට ඔවුන්ගේම ජීවිතයක් තියෙනවා. දරුවන්ගේ අදහස් හෙට, නම් වූ ගෘහයෙහි පදිංචිව ඇති. එහි යන්නට ඔබට පූළුවන්. ඔබ ඔවූන් හා සමාන වීමට උත්සාහ කරන්න. එහෙත් ඔවූන් ඔබට සමාන කරන්නට උත්සාහ නොකරන්න."~ ඛලීල් ජිබ්රාන්

“අම්මි මට දුක හිතෙනවා.එහෙම කියන්න එපා. ඔයා මගේ.” මම ඛලීල් ජිබ්රාන්ගේ බරපතළ අදහස තේරෙන සිංහලෙන් කියල දෙන්න වලිකනකොට නම හැවිරිදි පුන්චිඑකි කිව්වේ එහෙමයි. හැබැයි එයා කිව්වෙත් මම එයාගේ කියලා මිස එයා මගේ කියල නෙමෙයි. හ්ම්ම්.

ඛලීල් ජිබ්රාන්ගේ මේ විග්‍රහය කොතරම් නිවැරදි දැයි දැනෙන්නේ අද වැඩිහිටියන්, ගුරුවරුන්, දෙමවූපියන්ව සිටින අප දරුවන් සමඟ කටයූතු කරද්දී කෙතරම් ප්‍රගතිගාමිදැයි සිතෙන විටයි.

ඒ පුංචි සිත් කොඉ තරම් අපූර්වද කියලා ඔබ හිතල බැලුවද? සම්ප්‍රදායික බලාපොරොත්තු වලින් ඔබ්බට පියාසලන ඒ සිහින එක්ක පියබන්න අපටත් හැකිනම් . ඒ සංවේදී බවට සුසර වෙන්න. බයිබයිගා යකින්නගේ කොස්සේ නැගිලා අහසින් යන්න. එල්සයි අනයි එක්ක හිම බෝල ගහගන්න, පට්ට විදිහට ඉර පායලා තියෙන අහසේ හිම වැස්සක් මතුවෙනකම් බැල්කනියේ ඉදන් සබන් බෝල පා කරන්න. එක මොහොතකට, හෝරාවකට ඔවුන් වෙන්න හැකිනම් ජීවිතේ විදින්න ඔබටත් හැකිවේවි.

“එත් තාත්තට වැඩියෙන් ආදරේ අය අත් උස්සන්න. අම්මට වැඩියෙන් ආදරේ අය අත් උස්සන්න” කියල ගුරුතුමිය අහන වෙලේ ඒ පුංචි හිත් උත්තර දෙන්නේ අවංකවම. මනෝ විද්‍යා පාඩමෙ කරුණු වලින් පුංචි අයට දමා ගසන්න කලින් ඔවුන් අදුරගන්න කියල ආදරණිය ගුරුතුමියන්ට මතක් කරන්න වෙලාද ?. සමහර පුංචි දරුවෝ අම්මගේ ත්ත්තගේ ආදරේ විදින්නේ සිහින ලෝකෙදි. එත් සමාජය ඉදිරියේ සමාජය බලාපොරෝත්තුවෙන අම්මගේ අප්පච්චිගේ ප්‍රතිබිම්බය රැක දෙන්න ඔවුන් උත්සහ කරන බව අපි හිතනවද?

ගැහැණු ළමයි අප්පච්චිට සමිප වෙන්න ඕනේ. පිරිමි ළමයි අම්මට සමිඉප වෙන්න ඕනේ කියල හඬ දෙන ගුරුතුමියට සමහර ඇස් වල දිලිසෙන කඳුල තෙරු ම් ගන්න තරම් සංවේදී බවක් නැහැ . පවුල් සංස්ථාව ශක්තිමත් වූ පමණින් සාර්ථක දරුවෙක් බිහිවෙන බවට උදම් අනන වැඩිහිටියෝ, පුජක උතුමන් බිඳුණු බැදීමකින් ලැබෙන පන්නරයෙන් නිදහස් දරුවෙක් ගොඩනැගෙනවා දකින්න සූදනම් නෑ . එත් ඇයි අපි සිමා ඇතුලේ හිරවෙලා . ඇයි අපි බය අභියෝග කරන්න.

ඔබේ පාට කණ්නාඩි ගලවලා ඇත්ත ලෝකය දකින්න.

ඒ සරල සුන්දරත්වය දකින්න. එකකට එකක් ගලපීමක් නෑ කියල ඔබට හිතෙයි.

එත් මම ලියන්නේ පුංචි දරුවෙක්ගේ හැගිම් ගැන. පුංචි දරුවෙක් වෙන්න පුළුවන් අම්ම කෙනෙක් ගැන. මම පුංචි කාලේ අහස දිහා බලන් හිටියේ හුගක් ලොකු බලාපොරොත්තුවකින්. පිට සක්වළ ජීවීන් ඇවිත් මාව පැහැරගෙන ගිහින් එයාලගේ ලෝකේ රැජින කර ගනියි කියල විශ්වාසයක් හිතේ තිබුනා. ඒක එහෙම සිදු නොවුනත් පැහැරගෙන ගිය නපුරෙන් බේරිලා ආපු මම අද රැජිනක් නෙමෙයි කියල මම හිතන්නේ නෑ .

පුංචි දුව කුමරිකාවක්ද, මකර පැටියෙක්ද එහෙමත් නැත්නම් පොඩි ගෙඹි පැටි යෙක්ද කියල ලොකු බයක් නෑ . මොකද අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපි ගෙම්බියෝ දෙන්නෙක් කියල. ගෙබි හම ගලොපු වෙලාවට අපි වෙනත් අය . එක තමයි ඇත්ත.

කොහොමටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. දුනු දිය ශක්තිමත් නම් දුනු ශිල්පියා ඈ ත ක්ෂිතිජයට හීතල මුදාහරීවි. දුන්න ඊතලයට ප්‍රේම කළත් ඊ තල නිදහසේ ගමන් කරයි. ඒ ගමනේ ප්‍රබලම ආරම්බය දුනු දියයි. පරායත්‍ය විචල්‍ය ස්වායත්ත ගමනක යෙදෙයි. අම්මගෙයි දුවකගෙයි ජීවිතේ ඇත්ත ඒකම තමයි.

Friday, January 12, 2018

# 06: මායිස් ........

හූකාව එක උගුරට රස විදින්න බැරි බව කියා දුන්නේ මායිස්. වේගවත් සංගීතරිද්මයට පා සොලවන යුවතියන් මැද්දේ නිස්කන්සුවේ පිම්බ දුම් රැළි සීතලවාතලයට එකතු උනේ අදුරට ඔච්චම් කරමින් කියල මට හිතුණා. පෙට්ටි හැඩේට සුදු පාට මාබල් ගලෙන් නිම වෙච්ච චතුරශ්‍රාකාර කාමර වලජීවිතේ පිරිලා තිබුණා. බුර්කාව අහසට විසිකරපු තරුණ සිත් සී මැදුරු කවුළුවෙන්පාර දිහා බැලුවේ නෑ.. බලන්ඩ ඕනේ උනීම නෑ..
සත්තකයි. ආදරේ දොරේ ගලා ගියා.

අබීර්ට තිබුනේ මුවත්තියකගේ වගේ සිහින් දිගටි ඇස් දෙකක්. හිනාවෙනකොටවල ගැහෙන රත් පහ දෙකොපුල්. ලැජ්ජා හිතෙන හැම වෙලේම සිහින් රත්පැහැයක් කම්බුල මැද්දෙන් මතුවෙලා විසිරිලා යන හැටි මායිස්ට මතක් උනා . ඒරත් පැහැය විසිරුණු ලැම කොච්චර සුන්දරද . කන් පෙත්තේ ඉදන් දකුණු කකුළේසුලගිල්ලට යනකන් රහස් කීයක් හැංගිලා තියෙනවද කියල මතක් කරන්න මායිස්ටහිතුනේ නැත්තේ, රෆා දේශසීමාව හරහා ඊජිප්තුවට ඇතුළු උන අබීර්ගේ කතාකරන ඇස් අතීතය අමතක කරන්ඩ තිබුන හදිස්සිය ගැන දැනුනු වේදනාව හින්දයි.
                                                                             

Saturday, January 6, 2018

                                                            # 05: පැමිණිලි කාරියගේ හර්ද ශාක්ෂිය

රන් මුදුව මුදාළෙමි - ලොව සිනාසෙනු දුටිමි
තැල්ල ගෙන විසි කළෙමි - සරදම් කන වැකුණි
කඳුළු තිර පිස බැලීමි - නිරුවත් ලොව දුටිමි
මදහසක් මුව නැගුණි - මමද මා හමුඋනෙමි

ශයිලොක්ට වසඟ වෙමි
බෘටස්ට ඇප බඳිමි
විනිසුරුට පෙම් කරමි

මුන් හැමට සිනාසෙමි