About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, August 11, 2018

# 22: අවසන් ලිපිය














සදාදර අසඩක් ,
 
හන්තාන පුරහඳ - රාහු ගිලගත් බව 
අල්තාරය අභියස - මිමිණුවා මතකද 
බිඳුණු හද අතින් ගෙන - ඉරුණු සළු පොටින් ඔබ 
නිරුවත් ආත්මය - එළිකළා නුඹට මම 
 
පස්  වසක් ගත්තත් - උඹට නෑ හයියක් 
පසදින්න කිසිවක් .......................
උඹෙයි අසරණකම - මේ ගැහැණු හිත ළඟ  
සමච්චල් නොකරමිය - ඉතින් නුඹ හට තවත් 
සිනහ පා නික්ම යමි - ඔබගේ ද්වාරයෙන් 
මිළට ගෙන යුක්තිය - නොනමා හිස සිතින් 
 
ඉතින් අපි සමු ගනිමු; මන්ද;
 
අවැසි මට සරසන්න 
නුඹ සුදු කළ මගේ කෙස් 
නෙක වර්ණයෙන්;
මඳ පවනක්ව  හමන්නට පෙර 
 
මීට ඔබේ අවංක,
 
පැමිණිලි කාරිය  
 
(06 අගෝස්තු 2018)

Friday, July 20, 2018

# 21 : සිංහල දෙමළ නොවුණු ගැහැණු කමේ කථාව














සති අන්තේ හෙට හින්ද - තලෙයි  මන්නාරම් යන්ට
දඬු මොණර නැති උඹට - පියාපත් නොමැති විට
තුන්වන පන්තියේ විඩාබර මැදිරි අග
එක අසුන යට කරන්  විසිපහක් සිටින රඟ

සිංහල කියපු ලේ - දොරගාව එකපාර
සිඳ ලන්න තතනද්දී - විලි බියත් එක පැහැර
සිංහල වෙච්ච මට  - සෙනෙහසින් මඟ   පෑව
රතු තිලක ඇන්ද නුඹ- අද මගේ සොයුරිය

දහඩිය පිරුණු වත - උණුසුමට හැඩ  කළ
නාස් අග කඩුක්කම - බත් කටට හිලවු කළ
තිදරුවන්  ඇකයේ ගෙන - පියෝවුරක තැවුල් හළ
නුඹේ ඇස් කෙවෙනි අග - හිනැහුණා මිනිස් කම

(සිංහල අකුරු ඇහින්දේ - දෙමළ කතාවක් කියන්න. අකුරු වලට නොතේරුණු  - ලෙයින් එකට බැඳුණු නිර්ධන පන්තියේ - උඹෙයි  මගෙයි කථාව . සිංහල දෙමළ නොවුණු ගැහැණු කමේ කථාව. ස්තූතියි සහෝදරී )

Saturday, July 14, 2018

#20: කවි හිතක්

 ලිහිණු ගෙත්තම් අරන්
 කවි හිතක අරුමය සොයන්
නුඹ ආව ඉසිඹුව ඉතින්
 නිසල විල මැකුණා සැනින්

සිහින වික්කල් හදින්
 අවසාන සිතුවම ලෙසින්
මා අසල නොයිදින් ඉතින්
 සිත්තරුද සිහිනෙක නිදන්

කළු පාට දේදුනු අරන්
ඉඩෝරෙට යාදිනි කියන්
මහා වැස්ස දියවර අරන්
එනදාට වෙනතක් බලන්

රුදුරු නෑ කවුරුත් හදින්
 සොඳුරු නෑ කාලය නිතින්
කිඳුරු කවි කිව්වත් පෙමින්
සියොතුන්ට කුමකට වරල් ?

Sunday, May 27, 2018

# 19: මුත්‍රා මත ගැවසෙති බඹරුන්













රත් පැහැ පියුම් මත
මකරන්දයේ ගිලෙන
බිඟු තුඩක තැවරුණේ
ප්‍රේමයක්  පමණක්ද?

සිංහ ගිර පාමුළ
නොසැඟවුණු  මුත්‍ර මත
ගැවසෙනා බඹරුන්ට
ආදරේ  අපුලක්ද ?

විපිළිසර හදවතක
හඬන නොහඬන තතට
දෙබර කූඩෙට ගසන
එක ගලත් කජ්ජක්ද ?

Tuesday, May 1, 2018

# 18: අළු පැහැති මම

මම සුදු යැයි  කියන
ඔබ කළු යැයි හඟින
කාලයේ සරන්නෙමි.....
මම මා නොවන සඳ
ඔබ ඔබ නොවන සඳ;
කළු සුදු අප දෙදෙන
තුලාවක නැම්ම මත
රැඟුව බව මොහොතකට
වික්ෂිප්ත මනස තුළ
හඟිමි මම ක්ෂණයක ...
චපල නීතිය අසළ
අපේ කළු සුදු පැහැය
සිල්ලරට විකිණු සඳ
දන ගතිමි සත්තකට
අළු පැහැති බැව් මහද .


Tuesday, April 17, 2018

# 17: සැපින්නගේ මිරි වැඩි

සඳුට වෙර කළ සැපින්නක ගැන - නයි කදුළු නැත යා උනේ
කිඳුරු පෙම ගැන සදෙව් ලොව  දුර - සොඳුරු පද වැල් ලිය වුනේ
අඳුරු අරණක සඳ සුයාමෙක - දඟර ගැහිලා සෙල උනේ
කින්නරාවක් නොව අදෝමැයි  - බස්සෙකුය ස්ථිර කළේ ...

සළෙලු කවියක  උමතු තනු  තුළ    - රඟපු  ළඳකගේ නෙරිපොටේ
හඳ එළිය මැද මිදුව වර පට - පෙමට උපමා නොම කළේ ..
පෙගුනු කෙහෙරැළි  ලයට බර උනි - දෙවිඳු හැර ගිය කෝවිලේ
අමතකව ගිය මිරිවැඩිය  ගැන - අරුම දෙස් තව බෝ කළේ ...

රනින් කළ මිරි වැඩිය හිස මත -දිදුළ මැණිකක පපු තුරේ
කළුම කළු නයි හැවක් එතුනලු - නුගේ පාමුල ගල් වලේ
නෙක යවුල් මැද පා තැබුව සඳ  - පා සලබ හැර ඝන  දුරේ
සැපින්නට මිරි වැඩි කුමට හෙට - අසනු කුමකට නුඹ සඳේ .... 


Saturday, April 7, 2018

# 16: අමන වියමන

මතක අමතක අමන ගැහැණිය
වියන සළුපට හුරු අතින්
ඇරඹුමක් නැති අරමුණක් නැති
හුයක් පටලයි නිය අගින්
දිදාලය අග බොඳවූ රතු කැට
ගැලුවේ නැති බව හදවතින්
ශිරාවක් ධමනියට කිව්වා
උන්ට මොකටද එය ඉතින්


Saturday, March 10, 2018

# 15: පොඩි මැණිකේ , නජ්ලා සහ බූරුවෝ

ඉල් මහේ වැහි නොදුටු - අහසට දෙස් තියා
පොඩි මැණිකේ නිවුණු ළිප - හිතේ ගිනි එක් කළා
හෙට්ටිගේ ණය  පොතේ - ඉලක්කම් දිගුවු දා
කිරි මවගේ ගෙජ්ජි වැල - වත්තේ කොන වැලලුනා ....

සහරාවේ කුණාටුව - ඔලිව් ගස් හිස් කළා
හිස් තැටිය රොටි නැතුව - නජ්ලා  විසි කළා
දෙවියන්ගේ අඩවියේ - දොර උන්ට වැසුණ දා
පවුලේ බර වැඩි බව -බූරුවට සිහි උණා  ......

ගිනි වැදුන දිවි මගේ  - දුක් සුසුම් පිරිවරා
සින්ථතික්  බූරුවෝ  -සැමට ඔච්චම් කළා
ආගමයි, ජාතියයි - නොයෙක් අවි අත දරා
පණ  අදින මිනිස්කම - කග පතින් සුන් කළා ...


Friday, February 23, 2018

# 14 : අරුම පුදුම හැන්දෑව


නුඹ  මට කියල තිබ්බෙ
ඉර හවසට මූදෙ ගිලෙනවා කියලා
එත් මම පුදුම උනා
ගිනි මලක් තුරු වියන මැද්දෙන්
රූරා වැටෙන කොට ...
දිය රැළි ඔහේ ගෝෂා කළා
මුදට ඉර අහිමි කළා කියලා .....
එත් ඒ අපුර්වත්වය වින්දෙම  තුන්වෙනි ඇස,
මගේ හිතනම් හරි විපිළිසරයි
උඹ  මට බොරු කිව්වා වත්ද ????

Thursday, February 8, 2018

# 12: සොඳුරිය මේඝයකි - සළලෙකු නැත දත්තේ


තෙද බල කුටිය - කහවණු  පැහැයෙන් හැඩය
කළුවන් කබා මැද බේරෙන - බඩ  ගෙඩිය ..
සාරසුභාවට කැන හිළු   - නිදි බරය
නීතියේ ලඳත් විනිසුරු ළග - අවසඟය

ලේ පුසුබකට ඇදෙනා - දඩයම් කලය 
සුදු සළුවකට වැසුනත් රුව - පැහැසරය
අබමිට අතින් ගත්  ගැහැණිය - වනචරය
නිදි ගැට කැඩුව  උන් හැම හූ - හඬ පෑය

බඳවා රනින් යදමක් - නැකතක් මැද්දේ
ජය මංගල ගයා - අවමගුළකි ගත්තේ
සොඳුරිය මේඝයකි - සළලෙකු නැත දත්තේ
අඳ  නීතියට ඇය අද - අවසඟ නැත්තේ

විසිරුණු කිරට නැත ඇය - විනිසුරු යැද්දේ
පින්මද පුතුන් දැක මදහස - මුව ඇන්දේ
යදමින් බැදුන පා යුග - මිණි  ගෙඩි  සද්දේ
ඇහැරුණු උන්ට නැත අවසර - ඉන පල්ලේ